ධර්ම රත්නයේ ගුණ – Dhamma Guna in Sinhala

ධර්ම රත්නයේ ගුණ – Dhamma Guna in Sinhala

මාගේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය,

1. ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ

මුල මැද අග යහපත් බැවින් හා මනාකොට පිලිපැදිය යුතු බැවින් ස්වාක්ඛාත නම් වන සේක.

2. සන්දිට්ඨිකෝ

තමන් විසින් ම දැකිය යුතු හා තමන් විසින් ම අවබෝධ කළ යුතු බැවින් සංදිට්ඨීක නම් වන සේක.

3. අකාලිකෝ

වර්ෂ ගනනක්, මාස ගනනක්, දින ගනනක් ගත නොවී, එසැනින් ම ඵල ලැබිය හැකි බැවින් අකාලිකෝ නම් වන සේක.

4. ඒහි පස්සිකෝ

එන්න, පරික්ෂා කර බලන්න ආරාධනා කිරීමට සුදුසු ධර්මයක් බැවින් ඒහි පස්සිකෝ නම් වන සේක.

5. ඕපනයිකෝ

තම චිත්ත සන්තානයේ උපදවා ගැනීමට සුදුසු ම ධර්මය බැවින් ඕපනයිකෝ නම් වන සේක.

6. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී ති

මෙම ධර්මය සාක්ෂාත් කරගත් සත්පුරුෂයාට එහි යහපත් බව, එහි රස තම සිතින් ම දැනගෙන, විඳිය හැකි බැවින් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී ති නම් වන සේක.

බුද්ධානුස්සති භාවනාව පාලි හා සිංහලෙන් – Buddha Meditation in Pali and Sinhala

බුද්ධානුස්සති භාවනාව පාලි හා සිංහලෙන් – Buddha Meditation in Pali and Sinhala

Auto-Scroll   Speed

1. ඉති’පි සෝ භගවා අරහං

මාගේ බුදුරජාණන් වහන්සේ, රහසින් වත් පව් නොකළ සේක. සියළු කෙලෙසුන් දුරු කළ සේක. සියළු පුද පූජාවන් ලැබීමට සුදුසු වන සේක. එබැවින් මාගේ බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක, අරහං නම් වන සේක, අරහං නම් වන සේක.

2. සම්මා සම්බුද්ධෝ

මාගේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත යුතු සියළු ධර්මයන්, ගුරු උපදේශ රහිතව, තමන් විසින් ම මනාකොට අවබෝධ කරගත් බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

3. විජ්ජාචරණ සම්පන්නෝ

මාගේ බුදුරජාණන් වහන්සේ, විපස්සනා ඥානය, මනෝමය ඍධි ඥානය, ඍධිවිධ ඥානය, දිබ්බ සෝත ඥානය, පරචිත්ත විජානන ඥානය, පුබ්බේ නිවසානුස්සති ඥානය, දිබ්බ චක්ඛු ඥානය, ආසවක්ඛ්‍ය ඥානය යනාදී උතුම් විදර්ශනා ඥාන ධර්ම අටකින් ද,
ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආහාරයේ පමණ දැනීම, නිදි වැරීම, ශ්‍රද්ධාව, හිරි, ඔත්තප්ප, බහුශ්‍රැත බව, වීර්ය්‍ය, ප්‍රඥාව, සිහිය, ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය, චතුර්ත ධ්‍යානය යනාදි චරණ ධර්ම 15 කින් ද, යුක්ත වූ බැවින් විජ්ජා චරණ සම්පන්න නම් වන සේක.

4. සුගතෝ

මාගේ බුදුරජාණන් වහන්සේ සුන්දර වූ ගමන් විලාස ඇති බැවින් ද, දෙලොවටම යහපත් වචන කථා කළ බැවින් ද, සුන්දර වූ නිවනට පැමිණි බැවින් ද, සුගත නම් වන සේක.

5. ලෝකවිදු

මාගේ බුදුරජාණන් වහන්සේ ලෝකයේ යථාර්ථය යථා පරිදි වදාළ බැවින් ලෝකවිදු නම් වන සේක.

6. අනුත්තරෝ පුරිසදම්මසාරථී

මාගේ බුදුරජාණන් වහන්සේ උත්තරීතර සීල ස්කන්ධයෙන් ද, උත්තරීතර සමාධි ස්කන්ධයෙන් ද, උත්තරීතර ප්‍රඥා ස්කන්ධයෙන් ද, ආලවක, අංගුලිමාල වැනි දරුණු පුද්ගලයින් දමනය කළ බැවින්, පුරිස ධම්ම සාරඨී නම් වන සේක.

7. සත්ථා දේවමනුස්සානං

මාගේ බුදුරජාණන් වහන්සේ සියළු දෙවියන්ටත්, සියළු මනුෂ්‍යයන්ටත් මඟ පෙන්වූ ශාස්තෘවරයාණන් වූ බැවින් සත්ථා දේව මනුස්සානං නම් වන සේක.

8. බුද්ධෝ

මාගේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත යුතු වූ උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය මනාකොට අවබෝධ කරගත් බැවින් ද, අන් අයටත් අවබෝධ කරවූ බැවින් ද, බුද්ධ නම් වන සේක.

9. භගවා’ති

මාගේ බුදුරජාණන් වහන්සේ මහා ගුණ කඳකින් යුක්ත වූ අතර, කාම භාග්‍යය, යස භාග්‍යය, ආශ්චර්‍ය භාග්‍යය, ධර්ම භාග්‍යය, ප්‍රයත්න භාග්‍යය, ශ්‍රී භාග්‍යය යනාදී අප්‍රමාණ භාග්‍යය ධර්මයන්ගෙන් සමන්විත වූ බැවින් භගවා නම් වන සේක.

තෙරුවන් නැමදීම – Theruwan Namadeema

තෙරුවන් නැමදීම – Theruwan Namadeema

Auto-Scroll   Speed

බුද්ධානුස්සතිය

ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිසදම්මසාරථී සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා’ති.

මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදු වන සේක. අනුත්තරෝ පුරිසදම්මසාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක.

ධම්මානුස්සතිය

ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී ති.

භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ශ්‍රී සද්ධර්මය මැනැවින් දේශනා කරන ලද්දේ ය. මේ ජීවිතයේ දී ම අවබෝධ කළ හැකි බැවින් ශ්‍රී සද්ධර්මය සන්දිට්ඨික වන්නේ ය. ඕනෑම කාලයක දී අවබෝධ කළ හැකි බැවින් අකාලික වන්නේ ය. ඇවිත් බලන්න යැයි කිව හැකි බැවින් ඒහිපස්සික වන්නේ ය. බුද්ධිමත් මිනිසුන් විසින් තම තම නැණ පමණින් අවබෝධ කර ගත යුතු බැවින් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි වන්නේ ය.

සංඝානුස්සතිය

සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා ඒස භගවතෝ සාවකසංඝෝ, ආහුනෙය්‍යෝ, පාහුනෙය්‍යෝ, දක්ඛිණෙය්‍යෝ, අංජලිකරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා’ ති.

භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න වන සේක. භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්න වන සේක. භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා ඤායපටිපන්න වන සේක. භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා සාමීචිපටිපන්න වන සේක. භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා මාර්ග ඵල යුගල වශයෙන් හතරක් ද වන අතර මාර්ග ඵල පුද්ගල වශයෙන් අට දෙනෙක් වන සේක. ආහුනෙය්‍ය වන සේක. පාහුනෙය්‍ය වන සේක. දක්ඛිණෙය්‍ය වන සේක. අංජලිකරණීය වන සේක. ලොවට උතුම් පින් කෙත වන සේක.

සරණාගමනය (තිසරණයට පැමිණීම) – Saranagamanaya

සරණාගමනය (තිසරණයට පැමිණීම) – Saranagamanaya

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි

මම බුදුරජාණන් වහන්සේ සරණ යමි.
මම ශ්‍රී සද්ධර්මය සරණ යමි.
මම ආර්ය මහා සංඝරත්නය සරණ යමි.

දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි

දෙවනුව ද මම බුදුරජාණන් වහන්සේ සරණ යමි.
දෙවනුව ද මම ශ්‍රී සද්ධර්මය සරණ යමි.
දෙවනුව ද මම ආර්ය මහා සංඝරත්නය සරණ යමි.

තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි

තෙවනුව ද මම බුදුරජාණන් වහන්සේ සරණ යමි.
තෙවනුව ද මම ශ්‍රී සද්ධර්මය සරණ යමි.
තෙවනුව ද මම ආර්ය මහා සංඝරත්නය සරණ යමි.