ධම්මචක්කප්පවත්තන සුත්තං (දම්සක් පැවතුම් සූත්‍රය) පාලි හා සිංහලෙන් Dhammacakkappavattana Sutta Pali Sinhala Translation

Buddhist Tripitaka - ත්‍රිපිටක​ය, Maha Vagga, Samyutta Nikaya - සංයුත්ත නිකා​ය, Sutta Pitaka - සූත්‍ර පිටක​ය | 17 comments

 
Font Size
Auto-Scroll   Speed

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනේ මිගදායේ. තත්‍ර ඛෝ භගවා පඤ්චවග්ගියේ භික්ඛු ආමන්තේසි.

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ වැඩවසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ පස්වග භික්ෂූන් අමතා මේ ධම්මචක්ක දේශනය වදාළ සේක.

ද්වේ මේ භික්ඛවේ, අන්තා පබ්බජිතේන න සේවිතබ්බා.

පින්වත් මහණෙනි, පැවිද්දන් විසින් සේවනය නො කළ යුතු වූ මේ අන්ත දෙකකි.

යෝචා’යං කාමෙසු කාමසුඛල්ලිකානුයෝගෝ හීනෝ ගම්මෝ පෝථුජ්ජනිකෝ අනරියෝ අනත්ථසංහිතෝ.

යම් මේ කාමයන්හී කාම සුඛයේ ඇලී ගැලී වාසය කිරීමක් ඇද්ද මෙය හීන වූ දෙයකි, ලාමක වූ දෙයකි, පුහුදුන් ජනයා විසින් සේවනය කරන දෙයකි, උත්තම මිනිසුන් විසින් සේවනය නො කරන දෙයකි, අනර්ථ සහිත දෙයකි.

යෝචා’යං අත්තකිලමථානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ථසංහිතෝ.

යම් ඒ තමා ව පීඩාවට පත් කරවන වැඩ පිළිවෙලක් ඇද්ද, එය දුක් සහිත දෙයකි, උත්තම මිනිසුන් විසින් සේවනය නො කරන දෙයකි, අනර්ථ දෙයකි.

ඒතේ තේ භික්ඛවේ, උභෝ අන්තේ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති.

පින්වත් මහණෙනි, ඒ මේ අන්ත දෙකට නො පැමිණ තථාගතයන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරන ලදි. මේ මධ්‍යම ප්‍රතිපදාව දහම් ඇස ලබා දෙයි. නුවණ උදා කරයි. සංසිඳීම ඇති කරයි. විශේෂ ඤාණය ඇති කරයි. අවබෝධය ඇති කරයි. නිවන පිණිස පවතින්නේ ය.

කතමා ච සා භික්ඛවේ, මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති?

පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද, දහම් ඇස ලබා දෙන, නුවණ උදා කරන, සංසිඳීම ඇති කරන, විශේෂ ඤාණය ඇති කරන, අවබෝධය ඇති කරන, නිවන පිණිස පවතින්නා වූ මධ්‍යම ප්‍රතිපදාව නම් කුමක් ද?

අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. සෙය්‍යථීදං: සම්මාදිට්ඨි සම්මාසංකප්පෝ සම්මාවාචා සම්මාකම්මන්තෝ සම්මාආජීවෝ සම්මාවායාමෝ සම්මාසති සම්මාසමාධි.

ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ය. එනම්, සම්මා දිට්ඨිය ද, සම්මා සංකල්පය ද, සම්මා වාචා ද, සම්මා කම්මන්තය ද, සම්මා ආජීවය ද, සම්මා වායාමය ද, සම්මා සතිය ද, සම්මා සමාධිය ද යන මෙය යි.

අයං ඛෝ සා භික්ඛවේ, මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති.

පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද, දහම් ඇස ලබා දෙන, නුවණ උදා කරන, සංසිඳීම ඇති කරන, විශේෂ ඤණය ඇති කරන, අවබෝධය ඇති කරන, නිවන පිණිස පවතින්නා වූ මධ්‍යම ප්‍රතිපදාව නම් මෙය යි.

ඉදං ඛෝ පන භික්ඛවේ, දුක්ඛං අරියසච්චං. ජාති’පි දුක්ඛා ජරා’පි දුක්ඛා ව්‍යාධි’පි දුක්ඛෝ මරණම්පි’දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡ්ං න ලභති තම්පි දුක්ඛං සංඛිත්තීන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.

පින්වත් මහණෙනි,  මෙය වනාහී දුක නම් වූ ආර්ය සත්‍යය යි. ඉපදීම ද දුකකි. ජරාවට පත් වීම ද දුකකි. රෝග පීඩා වැළඳීම ද දුකකි. මරණය ද දුකකි. අප්‍රිය පුද්ගලයන් හා අප්‍රිය වස්තූන් සමඟ එක්වීම ද දුකකි. ප්‍රිය පුද්ගලයන් හා ප්‍රිය වස්තුන් ගෙන් වෙන්වීම ද දුකකි. කැමති වන්නා වූ යම් දෙයක් ඇද්ද, එය නොලැබීම ද දුකකි. සංක්ෂේපයෙන් කීවොත් පංච උපාදානස්කන්ධයෝ ම දුකකි.

ඉදං ඛෝ පන භික්ඛවේ, දුක්ඛසමුදයං අරියසච්චං. යායං තණ්හා පෝනෝභවිකා නන්දිරාගසහගතා තත්‍රතත්‍රාභිනන්දිනී. සෙය්‍යථිදං: කාමතණ්හා භවතණ්හා විභවතණ්හා.

පින්වත් මහණෙනි, මෙය වනාහි දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යය යි. පුනර්භවය ඇති කරන, ආශ්වාදයෙන් ඇලෙන්නා වූ, ඒ ඒ තැන සතුටින් පිළිගන්නා වූ යම් ඒ තණ්හාවක් ඇද්ද, එය යි. එනම්, කාම තණ්හාව ය, භව තණ්හාව ය, විභව තණ්හාව ය.

ඉදං ඛෝ පන භික්ඛවේ, දුක්ඛනිරෝධං අරියසච්චං. යෝ තස්සායේව තණ්හාය අසේසවිරාගනිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ.

පින්වත් මහණෙනි, මෙය වනාහී දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යය යි. ඒ තණ්හාවේ ම ඉතිරි නැතිව නො ඇල්මෙන් නිරුද්ධ වීමක් වේ ද, අත් හැරීමක් වේද, දුරු වීමක් වේද, තණ්හාවෙන් මිදීමක් වේද, ආලය නැතිවීමක් වේ ද එය යි.

ඉදං ඛෝ පන භික්ඛවේ, දුක්ඛනිරෝධගාමිනීපටිපදා අරියසච්චං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. සෙය්‍යථීදං සම්මාදිට්ඨි සම්මාසංකප්පෝ සම්මාවාචා සම්මාකම්මන්තෝ සම්මාආජීවෝ සම්මාවායාමෝ සම්මාසති සම්මාසමාධි.

පින්වත් මහණෙනි, මෙය වනාහී දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය යි. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ය. එනම්, සම්මා දිට්ඨිය ද, සම්මා සංකල්පය ද, සම්මා වාචා ද, සම්මා කම්මන්තය ද, සම්මා ආජීවය ද, සම්මා වායාමය ද, සම්මා සතිය ද, සම්මා සමාධිය ද යන මෙය යි.

ඉදං දුක්ඛං අරියසච්චන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.

පින්වත් මහණෙනි, මෙය වනාහී දුක නම් වූ ආර්ය සත්‍යය යි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

තං ඛෝ පනිදං දුක්ඛං අරියසච්චං පරිඤ්ඤෙය්‍යන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.

පින්වත් මහණෙනි, ඒ දුක නම් වූ ආර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ යුතුයි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

තං ඛෝ පනිදං දුක්ඛං අරියසච්චං පරිඤ්ඤාතන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.

පින්වත් මහණෙනි, ඒ දුක නම් වූ ආර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරන ලදි යි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

ඉදං දුක්ඛසමුදයං අරියසච්චන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.

පින්වත් මහණෙනි, මෙය වනාහී දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යය යි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

තං ඛෝ පනිදං දුක්ඛසමුදයං අරියසච්චං පහාතබ්බන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.

පින්වත් මහණෙනි, ඒ දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යය ප්‍රහාණය කළ යුතුයි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

තං ඛෝ පනිදං දුක්ඛසමුදයං අරියසච්චං පහීණන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.

පින්වත් මහණෙනි, ඒ දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යය ප්‍රහාණය වූයේ යයි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

ඉදං දුක්ඛනිරෝධං අරියසච්චන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.

පින්වත් මහණෙනි, මෙය වනාහී දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යය යි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

තං ඛෝ පනිදං දුක්ඛනිරෝධං අරියසච්චං සච්ඡිකාතබ්බන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.

පින්වත් මහණෙනි, ඒ දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යය සාක්ෂාත් කළ යුතුයි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

තං ඛෝ පනිදං දුක්ඛනිරෝධං අරියසච්චං සච්ඡිකතන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.

පින්වත් මහණෙනි, ඒ දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යය සාක්ෂාත් කරන ලදි යි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

ඉදං දුක්ඛනිරෝධගාමිනීපටිපදා අරියසච්චන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.

පින්වත් මහණෙනි, මෙය වනාහී දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය යි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

තං ඛෝ පනිදං දුක්ඛනිරෝධගාමිනීපටිපදා අරියසච්චං භාවේතබ්බන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.

පින්වත් මහණෙනි, ඒ දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය ප්‍රගුණ කළ යුතුයි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

තං ඛෝ පනිදං දුක්ඛනිරෝධගාමිනීපටිපදා අරියසච්චං භාවිතන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.

පින්වත් මහණෙනි, ඒ දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය ප්‍රගුණ කරන ලදි යි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

යාවකීවඤ්ච මේ භික්ඛවේ, ඉමේසු චතුසු අරියසච්චේසු ඒවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඤාණදස්සනං න සුවිසුද්ධං අහෝසි. නේවතාවා’හං භික්ඛවේ, සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මාසම්බෝධිං අභිසම්බුද්ධෝ පච්ච්ඤ්ඤාසිං.

පින්වත් මහණෙනි, මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව මේ ආකාරයට පරිවර්ත තුනකින් යුතුව ආකාර දොළොසකින් යුතුව සැබෑ තත්වය නම් වූ ඤාණ දර්ශනය සුවිශුද්ධ ලෙස මා හට යම් තාක් අවබෝධ නො වූයේ වේ ද, ඒ තාක් කල් ම පින්වත් මහණෙනි, දෙවියන් සහිත වූ ලෝකයේ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාව තුළ මම වනාහී අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළෙමි යි ප්‍රතිඥා නො දුන්නෙමි.

යතෝ ච ඛෝ භික්ඛවේ, ඉමේසු චතුසු අරියසච්චේසු ඒවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඤාණදස්සනං සුවිසුද්ධං අහෝසි. අථා’හං භික්ඛවේ, සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මාසම්බෝධිං අභිසම්බුද්ධෝ පච්ච්ඤ්ඤාසිං.

යම් කලෙක පින්වත් මහණෙනි, මා හට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව මේ ආකාරයට පරිවර්ත තුනකින් යුතුව ආකාර දොළොසකින් යුතුව සැබෑ තත්වය නම් වූ ඤාණ දර්ශනය සුවිශුද්ධ ලෙසට ම අවබෝධ වූයේ වේ ද, එකල්හී පින්වත් මහණෙනි, දෙවියන් සහිත වූ ලෝකයේ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාව තුළ මම වනාහී අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළෙමි යි ප්‍රතිඥා දුන්නෙමි.

ඤාණඤ්ච පන මේ දස්සනං උදපාදි, අකුප්පා මේ චේතෝ විමුත්ති අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවෝ’ති.

මා හට ඤාණ දර්ශනය පහළ විය. මාගේ චේතෝ විමුක්තිය වෙනස් නොවන්නේ ය. මෙය වනාහී අන්තිම ඉපදීම වේ. දැන් මා හට පුනර්භවයක් නැත්තේ ය.

ඉදමවෝච භගවා. අත්තමනා පඤ්චවග්ගියා භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මේ ධම්මචක්ක දේශනය වදාළ සේක. අතිශයින් ම සතුටට පත් වූ ඒ පස්වග භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද මේ ශ්‍රී සද්ධර්මය මහත් සොම්නසින් යුතුව පිළිගත්තාහු ය.

ඉමස්මිඤ්ච පන වෙය්‍යාකරණස්මිං භඤ්ඤමානේ ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්ම චක්ඛුං උදපාදි, යං කිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධධම්මන්’ති.

මේ ධම්මචක්ක දේශනය වදාරණ කල්හී ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන් වහන්සේට හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නා වූ යම් දෙයක් ඇද්ද, හේතූන් නිරුද්ධ වීමෙන් ඒ සියල්ල ම නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්ත යයි කියා කෙලෙස් රහිත වූ අවිද්‍යා මලකඩ රහිත වූ දහම් ඇස පහළ විය.

පවත්තිතේ ච පන භගවතා ධම්මචක්කේ භුම්මා දේවා සද්දමනුස්සාවේසුං. ඒතං භගවතා බාරානසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුනා වා කේනවි වා ලෝකස්මින්’ති.

අප ගේ භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායෙහි දී අනුත්තර වූ ධම්මචක්කය පවත්වන ලදී. එය වනාහී ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ ලෝකයෙහි වෙන කිසිවෙකුට හෝ වෙනස් කළ නොහැක්කේ ම යැයි කියා පොළොවවාසී දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය.

භුම්මානං දේවානං සද්දං සුත්වා චාතුම්මහාරාජිකා දේවා සද්දමනුස්සාවේසුං ..

පොළොවවාසී දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා චාතුම්මහාරාජික දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වූවාහු ය.

චාතුම්මහාරාජිකානං දේවානං සද්දං සුත්වා තාවතිංසා දේවා සද්දමනුස්සාවේසුං …

චාතුම්මහාරාජික දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා තාවතිංස දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුහාහු ය.

තාවතිංසානං දේවානං සද්දං සුත්වා යාමා දේවා සද්දමනුස්සාවේසුං …

තාවතිංස දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා යාම දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය.

යාමානං දේවානං සද්දං සුත්වා තුසිතා දේවා සද්දමනුස්සාවේසුං ..

යාම දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා තුසිත දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය.

තුසිතානං දේවානං සද්දං සුත්වා නිම්මාණරතී දේවා සද්දමනුස්සාවේසුං ..

තුසිත දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා නිම්මාණරතී දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වූවාහු ය.

නිම්මාණරතීනං දේවානං සද්දං සුත්වා පරනිම්මිතවසවත්තිනෝ දේවා සද්දමනුස්සාවේසුං ..

නිම්මාණරතී දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා පරනිම්මිතවසවත්තී දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය.

පරනිම්මිතවසවත්තීනං දේවානං සද්දං සුත්වා බ්‍රහ්මපාරිසජ්ජා දේවා සද්දමනුස්සාවේසුං ..

පරනිම්මිතවසවත්තී දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා බ්‍රහ්මපාරිසජ්ජ දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වූවාහු ය.

බ්‍රහ්මපාරිසජ්ජානං දේවානං සද්දං සුත්වා බ්‍රහ්මපුරෝහිතා දේවා සද්දමනුස්සාවේසුං ..

බ්‍රහ්මපාරිසජ්ජ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා බ්‍රහ්ම පුරෝහිත දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වූවාහු ය.

බ්‍රහ්මපුරෝහිතානං දේවානං සද්දං සුත්වා මහාබ්‍රහ්මා දේවා සද්දමනුස්සාවේසුං ..

බ්‍රහ්ම පුරෝහිත දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා මහා බ්‍රහ්ම දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වූවාහු ය.

මහාබ්‍රහ්මානං දේවානං සද්දං සුත්වා පරිත්තාභා දේවා සද්දමනුස්සාවේසුං ..

මහා බ්‍රහ්ම දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා පරිත්තාභ දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය.

පරිත්තාභානං දේවානං සද්දං සුත්වා අප්පමාණාභා දේවා සද්දමනුස්සාවේසුං ..

පරිත්තාභ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප්පමාණාභ දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය..

අප්පමාණාභානං දේවානං සද්දං සුත්වා ආභස්සරා දේවා සද්දමනුස්සාවේසුං ..

අප්පමාණාභ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා ආභස්සර දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය..

ආභස්සරානං දේවානං සද්දං සුත්වා පරිත්තසුභා දේවා සද්දමනුස්සාවේසුං ..

ආභස්සර දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා පරිත්තසුභ දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය..

පරිත්තසුභානං දේවානං සද්දං සුත්වා අප්පමාණසුභා දේවා සද්දමනුස්සාවේසුං ..

පරිත්තසුභ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප්පමාණසුභ දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය..

අප්පමාණසුභානං දේවානං සද්දං සුත්වා සුභකිණ්හකා දේවා සද්දමනුස්සාවේසුං ..

අප්පමාණසුභ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා සුභකිණ්හ දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය..

සුභකිණ්හකානං දේවානං සද්දං සුත්වා වේහප්ඵලා දේවා සද්දමනුස්සාවේසුං ..

සුභකිණ්හ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා වේහප්ඵල දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය..

වේහප්ඵලානං දේවානං සද්දං සුත්වා අවිහා දේවා සද්දමනුස්සාවේසුං ..

වේහප්ඵල දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අවිහ දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය..

අවිහානං දේවානං සද්දං සුත්වා අතප්පා දේවා සද්දමනුස්සාවේසුං ..

අවිහ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අතප්ප දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය..

අතප්පානං දේවානං සද්දං සුත්වා සුදස්සා දේවා සද්දමනුස්සාවේසුං ..

අතප්ප දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා සුදස්ස දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය..

සුදස්සානං දේවානං සද්දං සුත්වා සුදස්සී දේවා සද්දමනුස්සාවේසුං ..

සුදස්ස දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා සුදස්සී දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය..

සුදස්සීනං දේවානං සද්දං සුත්වා අකණිට්ඨකා දේවා සද්දමනුස්සාවේසුං. ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්’ති.

සුදස්සී දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප ගේ භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස් ඉසිපතන මිගදායෙහි දී අනුත්තර වූ ධම්මචක්කය පවත්වන ලදී. එය වනාහී ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ ලෝකයෙහි වෙන කිසිවෙකුට හෝ වෙනස් කළ නෝහැක්කේ ම යැයි කියා අකනිට්ඨ දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය.

ඉතිහ තේන ඛණේන තේන මුහුත්තේන යාව බ්‍රහ්මලෝකා සද්දෝ අබ්භුග්ගඤ්ඡි. අයඤ්ච දස්සහස්සී ලෝකධාතු සංකම්පි සම්පකම්පි සම්පවේධි.

ඒ ක්ෂණයෙහි ම, ඒ මොහොතෙහි ම, බ්‍රහ්ම ලෝක යම් තාක් වේ ද, ඒ තාක් ම මේ දහම් ඝෝෂාව පැතිර ගියේ ය. දස දහසක් ලෝක ධාතුව ම කම්පා විය. තදින් ම කම්පා විය. බලවත් ව කම්පා විය.

අප්පමාණෝ ච උළාරෝ ඕභාසෝ  ලෝකේ පාතුරහෝසි අතික්කම්ම දේවානං දේවානුභාවන්’ති.

දෙවියන් ගේ දේවානුභාවය ඉක්මවා ගිය අප්‍රමාණ වූ ආලෝකයක් ලෝකයෙහි පැතිර ගියේ ය.

අථ ඛෝ භගවා උදානං උදානේසි.

එකල්හී භග්‍යවතුන් වහන්සේ උදානයක් පහළ කළාහු ය.

අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝති.

භවත් කොණ්ඩඤ්ඤ තෙමේ ඒකාන්තයෙන් ම අවබෝධ කළා. භවත් කොණ්ඩඤ්ඤ තෙමේ ඒකාන්තයෙන් ම අවබෝධ කළා.

ඉතිහිදං ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස අඤ්ඤාකොණ්ඩඤ්ඤාත්වේ ව නාමං අහෝසී’ති.

මේ ආකාරයෙන් ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන් වහන්සේට අඤ්ඤාකොණ්ඩඤ්ඤ යන මේ නාමය ඇති වූයේ ය.

ඒතේන සච්චේන සුවත්ථි හෝතු!
මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා!

Related Resources

මහාකස්සපත්ථේර බොජ්ඣංග පරිත්තං (මහා කස්සප තෙර බොජ්ඣංග පිරිත) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන   Maha Kassapa Thero Bojjanga Piritha Sinhala English Translation

මහාකස්සපත්ථේර බොජ්ඣංග පරිත්තං (මහා කස්සප තෙර බොජ්ඣංග පිරිත) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන Maha Kassapa Thero Bojjanga Piritha Sinhala English Translation

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර කලන්දකනිවාප වේළුවන නම්වූ මහා විහාරයෙහි වැඩවසන සේක. එසමයෙහි මහා කාශ්‍යප ස්ථවිර තෙම පීඩීත ව, දුකට පත් ව, දැඩි ගිලන්ව, පිප්ඵලී ගුහාවෙහි වෙසෙයි.

රත්නමාලී යන්ත්‍රය පාලි හා සිංහලෙන් Rathnamali Yanthraya In Pali with Sinhala Translation

රත්නමාලී යන්ත්‍රය පාලි හා සිංහලෙන් Rathnamali Yanthraya In Pali with Sinhala Translation

රත්නමාලී යන්ත්‍රය වනාහි, පෙරකල ලක්දිව වැඩසිටි රහතුන් වහන්සේලා විසින්, තුන් ලොවක් අභිබැවූ (ලෝකෝත්තර) ධර්මතා තුනක් වන “තෙරුවනහි ගුණ” අන්තර්ගත කොට නිර්මාණශීලී ලෙස සකසන ලද ගථා රත්නයකි.

දසධම්ම සුත්තං (දසධම්ම සූත්‍රය) පාලි හා සිංහලෙන් Dasa Dhamma Sutta In Pali with Translation

දසධම්ම සුත්තං (දසධම්ම සූත්‍රය) පාලි හා සිංහලෙන් Dasa Dhamma Sutta In Pali with Translation

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං: භගවා ඒතදවෝච.මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා...

17 Comments

  1. Ruwan

    I like to thanks Admin of this site. Actually this is excellent effort thank you again

    Reply
    • Harshani Fernando

      Theruwansaranai!!! ???

      Reply
  2. Rajitha Kalum Rathnayaka

    Theruwansaranai. Bohoma pin

    Reply
  3. Thilani jayasinghe

    I UNDERSTOOD THE DHAMMA CHAKKA PAVTHTHNA SUTHTHA VERY WELL TODAY . MERRITS TO THE TRNLATOR.

    Reply
  4. Ayesha

    බොහොම පිං! තෙරුවන් සරණයි! ?

    Reply
  5. nathasha Samarakoon

    pin sidu wewa..apa siyalu denata chathurarya sathya awabodha wewa !!!!

    Reply
  6. Deepika Chandimali

    I understood very well the explaination on Dhamma
    Chakka pawattana Sutra with the
    meanings.Theruwansaranai?

    Reply
  7. tharanga

    තෙරුවන් සරණයි. පින් සිධු වේවා!

    Reply
    • බුද්ධික

      මෙවන් දේ කිරීමට තව තවත් ශක්තිය ලැබේවා

      Reply
  8. උපුල් මහවත්ත

    ඇත්තටම ගොඩක් හොඳට තේරුම සරලව අර්ථ දක්වල තියනවා තව පුළුවන් තරමක් කරන්න ශක්තිය ලැබේවා ! පින්සිදු වේවා

    Reply
    • Punsilu

      Thank you 👍👍

      Reply
  9. Bumitha

    ❣️❣️

    Reply
  10. Nihal

    How can I download all of these?

    I do thanks who done this job for us.

    Reply
  11. Isuru

    Perfect work.esay to read and memmorize!

    Reply
  12. Mudithaa

    පින් සිදු වේවා!! තෙරුවන් සරණයි 🙏🏻

    Reply
  13. Sanjeewa

    ගොඩක් පිං සිදු වේවා 💐💐💐

    Reply
  14. Punsilu

    Thank you 👍👍

    Reply

Submit a Comment

Your email address will not be published. Required fields are marked *