අතීතයේ විශාලා මහනුවර මහා දුර්භීක්ෂයක් ඇති විය. ආහාර දුර්ලභත්වයෙන් මිනිස්සු මැරෙන්නට වූහ. මළ සිරුරු නුවරින් බැහැර කළහ. මිනී කුණුගන්ඳින් අමනුෂ්‍යයෝ නුවරට ඇතුල් වූහ. ඒ නිසා තව තවත් මැරෙන්නට වූහ. ඒ හේතුකොට ගෙන ‘අහිවාතක’ නම් දරුණු රෝගයක් ඇති විය. මෙසේ දුර්භීක්ෂ, අමනුෂ්‍ය හා රෝග යන ත්‍රිවිධ භීතියෙන් උපද්‍රැත වූ විශාලා මහනුවර වැසියෝ මෙපවත් රජවරුනට දැන්වූහ. රජවරු ජනතාව සන්ථාගාර ශාලාවට රැස්කර වූහ. රජුන් අත වරදක් ඇත්දැයි විමසූහ. තමන් අත වරදක් නැතැයි වැසියෝ පිළිවදන් දුන්හ.
දීර්ඝ සාකච්ඡාවකින් පසුව තථාගතයන් වහන්සේ මේ නුවරට වැඩමවා ගත හොත් සියලු උවදුරු දුරුවේයයි තීරණයට බැස ගත්හ. බිම්බිසාර රජුගේ කැමැත්ත ඇතිව ලිච්ඡවී රජවරු දෙදෙනෙක් බුදුන් වහන්සේ කරා එළඹ, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ත්‍රිවිධ භීතියකින් උපද්‍රැත වූ අපරට වැසියන් ගේ නිදුක් නීරෝගී බැව් උදෙසා භාග්‍යවතුන් වහන්සේ අප නුවරට වැඩමවන සේක් නම් අපට යහපතක් වේයැයි දන්වා සිටියහ.
තථාගතයන්වහන්සේ ආරාධනාව පිළිගෙන රුවන් සුතුරෙහි අණ තෙදින් කෙළ ලක්ෂයක් සක්වල ආරක්ෂාව සිදුවෙතියි ද එයින් මහත් පිරිසකට ධර්මාවබෝධය වෙතියි ද සලකා පන්සියයක් භික්ෂූන් වහන්සේ සමග විශාල මහා නුවරට වැඩමවා රුවන් පිරිත දෙසූහ. ඒ සමග ම සිවු දිගින් කළුකොට නැන්ගුණු මහා මේඝයෙන් (මහා වැසි වර්ෂා) මළ කඳන් ඉලපී ගංගානම් ගඟට පාවී ගියේ ය. නගරය පවිත්‍ර විය. පන්සියයක් පමණ බුදු පාමොක් මහ සඟන විසල් මහ නුවරට පිවිසෙත් ම සක් දෙවිඳු ඈ මහානුභාව සම්පන්න දෙවිවරු පැමිණියාහුය. ඔවුන් ගේ පැමිණීම සමගම අමනුෂ්‍යයෝ ක්‍රමයෙන් ඉවත් වී ගියාහුය.
තථාගතයන් වහන්සේ රතන සූත්‍රය වදාරා නුවර දොරටුව අබියස වැඩ සිට අනඳ හිමියන් අමතා ආනන්ද, මේ රතන සූත්‍රය ඉගෙන පූජා ද්‍රව්‍යද ගෙන්වා ගෙන ලිච්ඡවී කුමරුන් සමඟ විශාලා මහ නුවර තුන් පවුරු වටා හැසිරෙමින් පිරිත් දෙසවයි වදාළ සේක.
අනඳ හිමියෝ ද බුදුරජාණන් වහන්සේ ගේ පාත්‍රයට පිරිත් පැන් ගෙන රතන සූත්‍රය දෙස්මින් මුළු නුවරට පිරිත් පැන් ඉස්සාහ. සියලු අමානුෂ්‍යයෝ පලා ගියහ. නගරය ආරාක්ෂා සහිත විය. උවදුරු දුරු විය. මනුෂ්‍යයෝ සුඛිත මුදිත වූහ. සුවාසු දහසක් (අසූ හාරදහසක්) ප්‍රාණීන්ට ධර්මාභිසමය (ධර්මය අවබෝධ) විය. බුදුන් වහන්සේ දෙවන දවස්හි ද රතන සූත්‍රය වදාළහ. ඒ සමගම තවත් සුවාසු දහසක් ප්‍රාණීහු ධර්මාවබෝධය ලදහ. මෙසේ පිළිවෙළින් සත් දිනක් රතන සූත්‍රය දෙසූහ.
1.
යානීධ භූතානි සමාගතානි
භුම්මානි වා යානිව අන්තලික්ඛේ
සබ්බේව භූතා සුමනා භවන්තු
අථෝපි සක්කච්ච සුණන්තු භාසිතං
පොළොවෙහි වූ හෝ අහසෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙහි රැස්වූහුද, ඒ සියලු අමනුෂ්‍යයෝ ම සතුටු සිතැත්තෝ වෙත්වා, තවද මාගේ වචනය සකසා අසත්වා.
2.
තස්මා හි භූතා නිසාමේථ සබ්බේ
මෙත්තං කරෝථ මානුසියා පජාය
දිවා ච රත්තෝ ච හරන්ති යේ බලිං
තස්මා හි නේ රක්ඛථ අප්පමත්තා
භූතයිනි, එබැවින් තෙපි සියල්ලෝ මාගේ වචනය අසවු, මනුෂ්‍ය ප්‍රජාවට මෛත්‍රිය කරවු. යම් කෙනෙක් දහවල් ද රෑ ද පුද පඬුරු එලවත්ද (පූජා කරත්ද), එහෙයින් නොපමාව ඔවුන් රකිවු.
3.
යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
සග්ගේසු වා යං රතනං පණීතං
න නෝ සමං අත්ථි තථාගතේන
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
මිනිස් ලොකය හෝ නාග ලෝකය ආදී අන් ලොවෙක යම් ධනයක් වේද, දෙව්ලොව හෝ මහඟු රුවනක් වේද, ඔවුන් අතුරෙහි තථාගතයන් හා සදෘශයෙක් (සමාන කළ හැක්කෙක්) නැත්තේමය. මේ කරුණින් ද බුදුරජහු උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
4.
ඛයං විරාගං අමතං පණීතං
යදජ්ඣගා සක්‍යමුනී සමාහිතෝ
න තේන ධම්මේන සමත්ථි කිඤ්චි
ඉදම්පි ධම්මේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
ශාක්‍යමුනි තෙම එකඟ වූ සිත් ඇත්තේ, කෙලෙස් නැසීමට නිමිති වූ රාගයෙන් වෙන්වීමට නිමිතිවූ මරණයක් නැති උතුම්වූ යම් නිවනක් පසක් කෙළේද, ඒ දහම් හා සම වූ කිසිවෙක් නැත්තේය. මේ කරුණින්ද නිවන් දහම උතුම් රුවනෙකි. මේ සත්‍යානුභාවයෙන් සෙත් වේවා.
5.
යං බුද්ධසෙට්ඨෝ පරිවණ්ණයී සුචිං
සමාධිමානන්තරිකඤ්ඤමාහු
සමාධිනා තේන සමෝ න විජ්ජති
ඉදම්පි ධම්මේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
බුද්ධ ශ්‍රෙෂ්ඨ තෙම අත්‍යන්ත පරිශුද්ධවූ යම් මාර්ග සමාධියක් වර්ණනා කෙළේද, බුද්ධාදීහු ආනන්තරික (අනතුරුවම ඵල දෙන) සමාධියයි යමකට කියත්ද, ඒ සමාධිය හා සමාන අන්‍ය සමාධියක් නැත. මේ කරුණින්ද ආර්ය මාරගය උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
6.
යේ පුග්ගලා අට්ඨ සතං පසත්ථා
චත්තාරි ඒතානි යුගානි හොන්ති
තේ දක්ඛිණෙය්‍යා සුගතස්ස සාවකා
ඒතේසු දින්නානි මහප්ඵලානි
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
සත්පුරුෂයන් විසින් පසස්නා ලද යම් ආර්ය පුද්ගලයෝ අටදෙනෙක් වෙත්ද නොහොත් ප්‍රශස්ත වූ යම් එකසිය අටක් ආර්ය පුද්ගලයෝ වෙත්ද මොහු හැමදෙන යුගල වශයෙන් සතර දෙනෙකි (සෝවාන්, සකෘදාගාමි, අනාගාමී, අරහත්). සුගත් බුදුරදුන්ගේ සවු වූ ඔහු තුමු දක්ෂිණාවට සුදුස්සෝ වෙති. මේ බුදු සව්වන් කෙරෙහි දෙන ලද දානයෝ මහත් ඵල ඇත්තෝ වෙත් මේ කරුණින්ද බුද්ධ ශ්‍රාවක සංඝ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.
7.
යේ සුප්පයුත්තා මනසා දළ්හේන
නික්කාමිනෝ ගෝතමසාසනම්හි
තේ පත්තිපත්තා අමතං විගය්හ
ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
ගෞතම බුද්ධ ශාසනයෙහි වූ සුවිශුද්ධ කායවාක් කර්ම සංඛ්‍යාත ශීලස්කන්ධයෙන් යුක්ත වූ ස්ථීර සිතින් යුක්තවූ ප්‍රඥාව කරණ කොටගෙන සියලු කෙලෙසුන්ගෙන් නික්මුණාවූ යම් පුද්ගලකෙනෙක් වෙත්ද, ඔහු තුමු නිවනට බැසගෙන නො මිලයේ ම රහත්ඵල සමවත ලැබ ගෙන එය විඳිනනහු වෙති. මේ කරුණින්ද ආර්ය සංඝයා උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
8.
යථින්දඛීලෝ පඨවිංසිතෝසියා
චතුබ්භි වාතේහි අසම්පකම්පියෝ
තථූපමං සප්පුරිසං වදාමි
යෝ අරියසච්චානි අවෙච්ච පස්සති
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
යම්සේ පොළොව තුළ වැද සිටි (සිටවූ) ඉන්ද්‍රඛීලය (ස්ථම්භය) සිවු දිගින් හමන සුළඟින් සෙලවිය හැකි නොවේද, ආර්ය සත්‍යයන් ප්‍රඥාවෙන් බැසගෙන දක්නා පුරුෂයා (සෝවාන් පුද්ගලයා) එබන්දකු කොට කියමි. මේ කරුණින්ද ආර්ය සංඝ තෙමෙ උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
9.
යේ අරිය සච්චානි විභාවයන්ති
ගම්භීරපඤ්ඤේන සුදේසිතානි
කිඤ්චා’පි තේ හොන්ති භුසප්පමත්තා
න තේ භවං අට්ඨමං ආදියන්ති
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
යම් සෝවාන් පුද්ගල කෙනෙක් ගැඹුරු නුවණැති බුදුරදුන් දෙසූ ආර්ය සත්‍යයන් තමනට ප්‍රකට කෙරෙත්ද, ඔහු බෙහෙවින් පමාවූවාහු නමුත් අටවන භවයක් නො ගනිති. මෙ කරුණින්ද ආර්ය සංඝ තෙමෙ උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
10.
සහාවස්ස දස්සනසම්පදාය
තයස්සු ධම්මා ජහිතා භවන්ති
සක්කායදිට්ඨි විචිකිච්ඡිතඤ්ච
සීලබ්බතංවා’පි යදත්ථි කිඤ්චි
චතූහපායේහි ච විප්පමුත්තෝ
ඡ්චාහි ඨානානි අභබ්බෝකාතුං
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
මේ සෝවාන් පුද්ගලයා ගේ දර්ශන සම්පත්තිය හෙවත් සෝවාන් මග නුවණ පහළවීම සමගම සක්කාය දෘෂ්ටියද (බුද්ධාදී අටතන්හි) සැකයද යම් මිත්ථ්‍යාශීල ව්‍රත කෙනෙක්වූහුනම් ඒ සියල්ලද යන මේ තුන් සංයෝජනයෝ (සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරමාස) දුරුකරණ ලද්දෝ වෙත් හෙතෙම සතර අපායෙන් (නිරය, තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය, අසුර) කෙරෙන් මිදුනේද වේ. ආනන්තය්‍ය කර්ම පසත් (ආනන්තරීය පාපකර්ම 5 ත්) මිතථ්‍යාදෘෂ්ටියත් යන බැරෑරුම් පව් සය කරන්නටද හේ අභව්‍ය (සිදු නොවේ) ය. මේ කරුණින්ද ආර්ය සංඝ තෙමෙ උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
11.
කිඤ්චා’පි සෝ කම්මං කරෝති පාපකං
කායේන වාචා උද චේතසා වා
අභබ්බෝ සෝ තස්ස පටිච්ඡාදාය
අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
ඒ සෝවාන් පුද්ගල තෙම කයින් හෝ වචනයෙන් හෝ නැතහොත් සිතින් හෝ ප්‍රඥප්ති මාත්‍ර වූ කිසිවරදක් කරන්නේ නමුදු හේ එය සඟවන්නට නොහැක්කේය (සඟවන්නේ නැත). දක්නාලද නිර්වාන පදය ඇති සෝවාන් පුද්ගලයාගේ අවශ්‍ය බව (ඇවැත් දෙසා සංවරයේ පිහිටයි) බුදුරදුන් විසින් වදාරණ ලද්දේය. මේ කරුණින්ද ආර්ය සංඝ තෙමෙ උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
12.
වනප්පගුම්බේ යථාඵුස්සිතග්ගේ
ගිම්හානමාසේ පඨමස්මිංගිම්හේ
තථූපමං ධම්මවරං අදේසයී
නිබ්බාණගාමිං පරමං හිතාය
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
වන ලැහැබ තෙමෙ ග්‍රීෂ්ම සෘතුවේ පළමුවන මාසයෙහි හෙවත් බක්මස සුපිපි අක් ඇත්තේ (මල් පිපෙන්නේ) යම්සේද, එසේ වූ නිවන්පුර පමුණුවන පර්ය්‍යාප්ති (වෙනස් නොවන) ධර්මරත්නය පරමහිතාබ්‍ය (අන්යන්ගේ හිත සුව පිණිස) වූ නිවන් පිණිස ඒ බුදුරජ තෙමෙ දේශනා කළහ. මේ කරුණින්ද බුදුරජ තෙමෙ රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
13.
වරෝ වරඤ්ඤූ වරදෝ වරාහරෝ
අනුත්තරෝ ධම්මවරං අදේසයී
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
උතුම් වූ නිවන දන්නාවූ, උතුම් වූ නිවන දෙන්නාවූ, උතුම් වූ නිවන් මග ගෙනහැර පාන්නාවූ, නිරුත්තරවූ බුදුරජාණන් වහන්සේ උතුම් වූ දහමක් දෙසූ සේක. මේ කරුණින්ද බුදුරජ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
14.
ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං
විරත්තචිත්තා ආයතිකේ භවස්මිං
තේ ඛීණබීජා අවිරූළ්හිච්ඡ්න්දා
නිබ්බන්ති ධීරා යථායම්පදීපෝ
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
යම් කෙනෙකුන්ගේ පුරාතන කර්ම රහත් මගින් ක්ෂීණ වූයේද අළුත් කර්මයන්ගේ පහළ විමෙකුත් නැද්ද, මතු භවයක් කෙරෙහි නොඇළුණු සිතැති, ක්ෂීණවූ ප්‍රතිසන්ධි විඥාන සංඛ්‍යාද බීජ ඇති, පුනර්භව සංඛ්‍යාත සංස්කාර වෘද්ධිය කෙරෙහි කැමැත්තක් නැති, ධෛර්‍ය්‍ය සම්පන්නවූ ඒ රහත්හු මේ පහන මෙන් අවසන් සිත නිරුද්ධ වීමෙන් පිරිනිවෙත්. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
15.
යානීධ භූතානි සමාගතානි
භුම්මනි වා යානිව අන්තලික්ඛේ
තථාගතං දේවමනුස්ස පූජිතං
බුද්ධං නමස්සාම සුවත්ථි හෝතු
පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස්වූහු ද, ඔහුද මමද දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත බුදුරජාණන් වහන්සේ නමඳිමු. සත්ව ප්‍රජාවට සෙත් වේවා.
16.
යානීධ භූතානි සමාගතානි
භුම්මනි වා යානිව අන්තලික්ඛේ
තථාගතං දේවමනුස්ස පූජිතං
ධම්මං නමස්සාම සුවත්ථි හෝතු
පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස්වූහු ද, ඔහුද මමද දෙව් මිනිසුන් විසින් පුදන ලද බුද්ධාදීන් විසින් අවබෝධ කරන ලද බැවින් තථාගත වූ ධර්මය නමඳිමු. සත්ව ප්‍රජාවට සෙත් වේවා.
17.
යානීධ භූතානි සමාගතානි
භුම්මනි වා යානිව අන්තලික්ඛේ
තථාගතං දේවමනුස්ස පූජිතං
සංඝං නමස්සාම සුවත්ථි හෝතු
පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස්වූහු ද, ඔහුද මමද දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත වූ සංඝයා නමඳිමු. සත්ව ප්‍රජාවට සෙත් වේවා.
ඒතේන සච්චේන සුවත්ථි හෝතු!
මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා!
Related Resources
ධම්මචක්කප්පවත්තන සුත්තං (දම්සක් පැවතුම් සූත්‍රය) පාලි හා සිංහලෙන් Dhammacakkappavattana Sutta Pali Sinhala Translation
The sermon, Buddha gave to the five monks, was his first sermon, called the Dhammacakkappavattana Sutta. It was given on the full-moon day of Asalha Puja.
කරණීයමෙත්ත සුත්තං (කරණීයමෙත්ත සූත්‍රය) පාළි, සිංහල, හා ඉංග්‍රීසියෙන් KaraneeyaMetta Sutta in Pali, Sinhala, and English Translation
මෛත්‍රිය පැතිරවීම පිළිබඳ බුදු රජාණන් වහන්සේ වදාළ දෙසුම – KaraneeyaMetta Sutta — The Buddha’s Words on Loving-Kindness – The Hymn of Universal Love – Loving-Kindness -The Discourse on Loving-kindness – Good Will
මහාමංගල සුත්තං (මහා මංගල සූත්‍රය) පාලි හා සිංහලෙන් Maha Mangala Sutta in Pali and Sinhala Translation
මංගල කරුණු ගැන බුදු රජාණන් වහන්සේ වදාළ දෙසුම





පාලි භාෂාවෙන් ඇති සූත්‍රගත ධර්මකරුණු පහසුවෙන් දැනුවත්ව ධර්මාවබෝ්ධය ලබාගැනීමේ අදහසින් සම්බන්ධ වෙමි.
Purely to understand true Dhamma towards nibbana
බෙහෙවින් අගය කරමි.
Sadu Sadu Sadu ,,, ???????????? me punya kriyawata mage namskarya wewa,,,!!????????????
nirawana awabodaya boho dura nowethwa