Auto-Scroll   Speed

1. සුපටිපන්නෝ භගවතෝ සාවක සංගෝ

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආර්ය්‍ය ශ්‍රාවක පිරිස, රාග, ද්වේශ, මෝහ ප්‍රහාණය කරන ප්‍රතිපදාවට හා නිවනට ඒකාන්තයෙන් අනුලෝම වූ ප්‍රතිපදාවට මනාකොට පිලිපන් බැවින් සුපටිපන්න නම් වන සේක.

2. උජුපටිපන්නෝ භගවතෝ සාවක සංගෝ

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආර්ය්‍ය ශ්‍රාවක පිරිස, ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ ඍජු මාර්ගයේ ගමන් කරන බැවින් උජුපටිපන්න නම් වන සේක.

3. ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංගෝ

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආර්ය්‍ය ශ්‍රාවක පිරිස, දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යය යන චතුරාර්ය්‍ය සත්‍යය අවබෝධ කිරීමේ මාර්ගයට පිලිපන් බැවින් ඤායපටිපන්න නම් වන සේක.

4. සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංගෝ

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආර්ය්‍ය ශ්‍රාවක පිරිස, ශ්‍රී සද්ධර්මය මනාකොට දරා හිඳිමින්, අන් අයට දයා සිතින් කියා දෙමින් ධර්මය වෙත ඔවුන් කැඳවා ගන්නා හෙයින් සාමීචිපටිපන්න නම් වන සේක.

5. යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුණෙය්‍යෝ

යුගල වශයෙන් සතරක් හා පුද්ගලයින් වශයෙන් අට දෙනෙක් වන (සෝවාන් මාර්ගයට පිවිසි හා සෝවාන් ඵල සහිත, සකෘදාගාමී මාර්ගයට පිවිසි හා සකෘදාගාමී ඵල සහිත,  අනාගාමී මාර්ගයට පිවිසි හා අනාගාමී ඵල සහිත, අරහත් මාර්ගයට පිවිසි හා අරහත් ඵල සහිත) බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා, බෝහෝ දුර සිට පැමිණ සිව්පසයෙන් පූජාසත්කාර කිරීමට සුදුසු වන බැවින් ආහුණෙය්‍ය නම් වන සේක.

6. පාහුණෙය්‍යෝ

හිතවත් ඥාතීන්ට, ගරු කටයුතු ප්‍රභූවරුන්ට සූදානම් කළ ප්‍රණීත දෙයින් සංග්‍රහ, සතිකාර, පූජා කිරීමට සුදුසු වූ සීලාදී ගුණ සම්පන්න බැවින් පාහුණෙය්‍ය නම් වන සේක.

7. දක්ඛිණෙය්‍යෝ

මෙලොව හා පරලොව පින් අදහා පිරිනමනු ලබන දාන පිළිගැනීමට සුදුසු වන බැවින් දක්ඛිණෙය්‍ය නම් වන සේක.

8. අංජලීකරණෙය්‍යෝ

ලෝකයා විසින් ඇඟිලි බැඳ දොහොත් මුදුනේ තබා පසඟ පිහිටුවා වැඳුම් පිඳුම් කිරීමට සුදුසු වන බැවින් අං‍ජලීකරණීය නම් වන සේක.

9. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා තී

සියළු ලෝක සත්වයාට කුසල් වපුරා පින් ඵල නෙලා ගැනීමට ඇත්තා වූ පින් කෙතක් බඳු වූ හෙයින් අනුත්තර පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස නම් වන සේක.